වෛද්‍ය සාෆිට එරෙහිව අදත් විරෝධතා


( පුෂ්පකුමාර ජයරත්න )
 
වඳසැත්කම් චෝදනාවක් ඇතුඵ චෝදනා කීපයක් සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ සාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට දේශපාලන බලපෑම් එල්ල කරමින් බාධා නොකරන ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහා කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව ඒකරාශිවී අද (25) කුරුණෑගල නගරයේදී නිහඬ විරෝධය පැවැත්වූහ 
 
කුරුණෑගල අධිකරණය සංකීර්ණයට මඳක් දුරින් කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගයේ මෙම විරෝධතාවය පැවැත්වූහ .

සාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහි නඩුව අද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනෙමින් තිබූ නිසා මෙම මහජන විරෝධය නිහඬ විරෝධතාවක් ලෙසට සංවිධානය කර තිබුණි .

කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා,කුරුණෑගල සිංහල ව්‍යාපාරිකයන් සමඟ වෙනත් සිවිල් සංවිධාන රැසක් එකතුව මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි .

විරෝධතා වැකි සඳහන් පුවරු , බැනර් , කලු කොඩි ප්‍රදර්ශනය කරමින් විශාල පිරිසක් විරෝධතාවයෙහි නිරත වූ අතර පසුව ඔවුන් පාගමනින් කුරුණෑගල පොදු වෙළදපොළ භූමියට ගොස් විරෝධතාව අවසන් කළහ .
 

මෙම විරෝධතාවයේ ප්‍රධාන සංවිධායකවරයෙකුවූ කුරුණෑගල අස්වැද්දුම විහාරාධිපති එළවිටිගම සෝමානන්ද හිමියන් පැවසුවේ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නීතියට අනුකූලව ඉතා සාධාරණ ලෙස සාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ඇති නඩුව විභාගයට ගනිමින් තිබියදී එම නඩු විභාගයට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කීප දෙනෙකු මැදිහත්වී ඊට බලපෑම් එල්ල කරමින් සිටින බවයි .
 සාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා මේවනවිට විවිධාකාරයෙන් සනාථ වෙමින් පවතින  අවස්ථාවක අධිකරණයට බලපෑම් කිරීම හෙළා දකින බවද සෝමානන්ද හිමියෝ ප්‍රකාශ කළහ . 
 
සාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා අතින් අගතියට පත් කුරුණෑගල සිංහල මවුවරුන්ට අධිකරණය මගින් හෝ සාධාරණයක් ඉෂ්ට විය යුතු බවද , එතෙක් මෙවැනි අනිසි බලපෑම් වලට එරෙහිව  ඉදිරියේදී මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා  බවටද මෙම විරෝධතාවයට සහභාගි වූ කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන් විහාරාධිපති ගල්නෑවේ ධම්මරතන හිමියෝ අනතුරු හැඟවීය .