වීසා නොමැතිව සිටි එංගලන්ත යුවළට ඇප


(ඩී.ජී.සුගතපාල)
 

වීසා නොමැතිව රැඳි සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරසිටි  එංගලන්ත යුවළක් ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (08) නියෝග කළේය.
 
එක් අයෙකු රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට එහිදී නියෝග කර ඇත.
 
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ චාර්ල්ස් සහ කැත්රිනා යන සංචාරකයන් දෙදෙනාය.
 
වීසා නොමැතිව හබරාදුව පොලිස් වසමේ හප්පාවන ප්‍රදේශයේ ඔවුන් නතරව සිටියදි ඉකුත් 6වන දින හබරාදුව පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු  රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
 
මේ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගිය හබරාදුව පොලිසියේ කාන්තා උප පොලිස් පරීක්ෂකවරියකට විත්තිකාර විදේශික යුවළ එම අවස්ථාවේ සාපරාධී බලහත්කාරය පා පහරදී ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
 
එම පහරදීමේ නඩුව 27 වනදිනට කල් තැබු මහේස්ත්‍රාත්වරයා එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස පැමිණිල්ලේ සාක්කිකාරියට නොතිසි නිකුත් කිරීමටද  නියෝග කළේය.
 
විත්තිකරුවන් වෙනුවෙන් රජින්ද්‍ර නාරංගොඩ, විශ්වනාථ අරඹේවෙල, විශ්ව ගුණරත්න යන මහත්වරුන් පෙනී සිටි අතර හබරාදුව පොලිසියේ සැරයන් විමල් (32012) මහතා පැමිණිල්ල මෙහෙයවන ලදී.