විමර්ශනය කරන්න ගිය නිලධාරියාට තර්ජනය කිරීම ගැන පැමිණිල්ලක්


(උපාලි ආනන්ද)

පොළොන්නරුව සිරිපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සිදුව ඇති ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ගිය අවස්ථාවේ දී  දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති තමාට පහරදීමට තැත් කළැයි උතුරුමැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුවේ විගණන හා විමර්ශන නිලධාරි ලලිත් ගමගේ මහතා අරලංගවිල පොලිසියට පැමිණිලි කර තිබේ.

විමර්ශන නිලධාරියා පසුගිය 7 වැනිදා මෙම පැමිණිල්ල විභාගයට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී සභාපතිවරයා පහරදීමට තැත්කර රාජකාරියට බාධාකර පලවා හැරිය බව කියමින් ඔහු පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධමිම්ක වීරසේකර මහතා මගින් අරලගංවිල පොලිසියට මෙම පැමිණිල්ල කර ඇත.

මෙම ඉන්ධන වංචාවට යොදාගෙන ඇති සිරිපුර ඉන්ධන පිරවුම්හළට ගිය අවස්ථාවේ දී එහි අයිතිකරු වන හිටපු ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා වන ජගත් සමරවික‍්‍රම නැමැත්තා තර්ජනය කළ බවට මෙම පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

තමා එම විමර්ශන කටයුතු  නවතා ඒ බව උතුරුමැද පළාත් අභ්‍යන්තර විගණන හා විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ද දැනුම් දුන් බව පැමිණිල්ලේ සඳහන් වේ.