(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පිටබැද්දර සියඹලාගොඩ ප්‍රදේශයේ කුඹුරක ඌරන් මැරීම සඳහා අටවන ලද විදුලි රැහැනක පැටලී දෙදරු පියෙකු මියගිය පසු ඔහුගේ සිරුර කිලෝ මීටර් භාගයක දුරක් ඔසවා ගෙන ගොස් කිඹුලන්ට කෑම සදහා ඌරුබොකු ආරට විසි කර දමන ලද බව කියන පුද්ගලයින් දෙදෙනෙකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පිටබැද්දර පොලීසිය පවසයි.
එසේ මරුමුවට පත්ව තිබුණේ පිටබැද්දර සියඹලාගොඩ නැගෙනහිර පදිංචිව සිටි කුඩාගේ පියසේන (58) නැමැති දෙදරු පියෙකි.
ඔහු ඉකුත් 13 වැනි උදෑසන සිට අතුරුදන්ව තිබු අතර පසුව ඔහුගේ සිරුර පසු දින සවස නිල්වලා ගඟේ අතු ගංගාවක් ඌරුබොකු ආරේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබුණි.
කිලෝ මීටර් දෙකක් පමණ දුර ගග පහලට පාවෙමින් තිබු එම සිරුර ඒ වන විටත් කිඹුලන් විසින් කා දමා දැඩි ලෙස නරක් වී තිබු බව පොලීසිය කියයි.
මහේස්ත්‍රාත් නියෝගය මත පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත් අඹේපිටිය මහතා විසින් පවත්වා මෙය විදුලි සැර වැදීමෙන් සිදු වු මරණයක් බවට ප්‍රකාශ කළේය.
ඒ පිළිබදව අධිකරණ වෛද්‍ය විශේෂඥ අඹේපිටිය මහතා මෙසේද කීය.
“කිඹුලන් විසින් කා දමා නරක්ව ඇති මෙම සිරුරේ විදුලි සැර වැදී පිළිස්සුණු තුවාල කැලැල් කිහිපයක් තිබෙනවා.ඒ වගේම ඔහු ඇද සිටි කමිසයෙත් පිළිස්සුණු ලකුණු තිබෙනවා.විදුලි සැර වැදුණු ස්ථානයේ ගොයම් පැල පොඩි වීමෙන් ඔහු එතැන දගලපු බවක් පැහැදිලිව පෙනෙනවා.විදුලි සැර වැදී මිය ගිය පසු එම සිරුර ඔසවා ගෙන විත් කිඹුලන්ට කෑම සදහා ගගට විසි කර තිබෙන බව පෙනෙනවා.”
කෙසේ නමුදු මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන ඇත්තේ අදාල කුඹුරේ හිමිකරු හා එහි අදයට වැඩ කරන ගොවියෙකි.
ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී බණ්ඩි ගොයම ආරක්ෂා කර ගැනීම සදහා කුඹුරට පැමිණෙන වල් ඌරන් මැරීම සඳහා ඇටවීමට යොදා ගත් විදුලි රැහැන් ද ගං ඉවුරට විසි කර තිබියදී පොලීසිය සොයා ගන්නා ලදි.
පිටබැද්දර සියඹලාගොඩ හා ඉහල අයිනගම පදිංචි සැකකරුවන් දෙදෙනා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරෙණි.