විදුලි රැහැනේ පැටලී පස් දරු පියා මරුට


(ගල්ගමුව නිහාල් ජයවීර )

වල් ඌරන් දඩයමට කූඹුරක් අයිනේ ඇද තිබූ විදුලිය බලය කැවු කම්බියක ගැටීමෙන් හැත්තෑ දෙහැවිරිදි පියෙකු මියගොස් ඇතැයි මහව පොලිසිය කියයි .

මරණයට පත්ව ඇත්තේ මහව , මාකඩුවාව පදිංචිව සිටි ඩබ්ලිව් එම් මුදියන්සේ නමැති පස්දරු පියා බව පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය කියයි .

මේ පියා පෙරේදා (04) උදේ සිය පුතෙකුගේ කුඹුරට ගොස් ඇති බවත් ,සවස් වන තුරු ඔහු නිවසට නොපැමිණීම නිසා ඒ පිළිබඳව නිවැසියන් සොයා බලද්දී කුඹුරේ කෙළවර වැට අසළ වැටි සිටින බව දැක ඇතැයි පොලිසිය පවසයි .

වැටි සිටින පියා නැඟි සිටුවීමට දියණිය උත්සාහ කරද්දී ඇයට ද විදුලිය සැර වැදී ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි .ඉන් ඇයට අනතුරක් සිදුව නැති බව පොලිසිය කියයි .

විදුලිය බලය කැවු කම්බිය පස්දරු පියාගේ අතක පැටලි තිබූ බව ද  ඔහු කුඹුරට යද්දී රැගෙන ගිය කැත්ත සිරුර අසළ තිබූ බව ද පොලිසිය කියයි .