(තිලකරත්න දිසානායක)
ගම්පහ අධ්‍යාපන කලාපයට අයත් කිරිදිවිට ගැමුණු කනිෂ්ඨ විදුහලට යාබද ඉඩමක කොන්ක්‍රීට් නිෂ්පාදිත වැඩබිමක් ස්ථාපනය කිරීමට යාම පිළිබඳව සිසු දරුවන්ගේ මව් පියවරුන් විරෝධය පළ කරති.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සදහා කොන්ක්‍රීට් නිෂ්පාදනය කිරීම පිණිස අක්කර දෙකක පමණ පාසලට යාබද පෞද්ගලික ඉඩමක චීන සමාගමක් මගින් මෙම වැඩබිම මේ වනවිටත් ආරම්භ කොට ඇත.
මේ සදහා පාසල සහ වැඩ බිමෙහි සීමාව වෙන්වන ලෙසින් පාසල් ගොඩනැගිල්ලෙහි සිට අඩි පහක පමණ දුරින් තහඩු යොදා ආවරණය කිරීමට සැලසුම් කොට ඇති බවත් මින් පන්ති කාමර අදුරු වන අතර වාතාශ්‍රය පවා නොලැබෙන තත්ත්වයක් මෙන්ම වැඩ බිමෙහි සවි කෙරෙන කලු ගල් කැඩීමේ යන්ත්‍ර මගින් නිකුත් වන අධික ශබ්දයත් , දූවිල්ලත් දරුවන්ගේ ඉගෙනුම් කටයුතුවලට දැඩි බාධාවක් වනු ඇති බවත් මව් පියන් පෙන්වා දෙති.
මෙම ගැටළුව පවතින විදුහලෙහි එකම පාසල් ගොඩනැගිල්ලෙහි 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසු දරුවන් 300 ක් පමණ දෙනෙකු අධ්‍යාපනය ලබන අතර වසර කිහිපයක් සදහා මෙම වැඩබිම ආරම්භ කළහොත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවීම මෙන්ම රෝගී තත්ත්වයට පත්විය හැකි බවද මව් පියෝ පවසති.
වැඩ බිමෙහි තහඩු ආවරණය ඉදිකෙරෙමින් පවතින ස්ථානයට මව් පියන් පිරිසක් අද (4) පැමිණ මින් සිදුවන අපහසුතාවය පෙන්වා දුන් අවස්ථාවේ එහි පැමිණි වැඩ බිම් පරීක්ෂකවරයෙකු වන උදය පුෂ්පකුමාර මහතා සදහන් කර සිටියේ, වසර තුන හතරක කාලයක් සදහා භූමිය ලබාගෙන ඇති අතර වැඩබිම සදහා පරිසර අධිකාරිය මගින් අනුමැතිය ලබා ගෙන ඇති බවත් වැඩබිමෙන් පාසලට බලපෑමක් ඇතිවේයැයි සිතිය නොහැකි බවත්ය.
පාසල අසල වැඩ බිම පවත්වා ගෙන නොයන ලෙසට විදුහල් සංවර්ධන කමිටුව මගින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන්ද , මවි පියන් විසින් ජනාධිපතිවරයාත්, ප්‍රසන්න රණතුංග, නාලක ගොඩහේවා, අජිත් මාන්නප්පෙරුම යන මැති ඇමතිවරුන්ගෙන්ද ඉල්ලීම් කොට ඇත.
මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් .කේ. මල්ලවආරච්චි මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කොට සිටියේ, පාසල් සංවර්ධන සමිතිය කළ ඉල්ලීම ගම්පහ අතිරේක දිසාපතිවරයා සහ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත යොමු කළ බවය.