(ටී.කේ.ජී.කපිල)
ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන බ්‍රිතාන්‍යය බලා පිටත්ව යෑමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් අද (28) කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඇය මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවකි.
එම කාන්තාව අද (28) දහවල් 1.30 ට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
එහිදී ඇය විසින් ඉදිරිපත් කළ වීසා බලපත්‍රයේ ඇති ආරක්ෂිත සළකුණු වල තිබූ වෙනස්කම් කිහිපයක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරී එස්.රණවක මහතාට නිරීක්ෂණය වීමෙන් පසුව, මෙම ගුවන් ගමනෙහි අරමුණ පිළිබඳව ඇයගෙන් විමසූ විට ඇය තම ස්වාමිපුරුෂයා හමුවීමට ලන්ඩන් නුවර බලා යන බව පවසා තිබේ.
පසුව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු පරීක්ෂණාගාරයේ රාජකාරියේ නියුතු දේශසීමා ආවේක්ෂණ නිලධාරීන් මේ පිළිබඳව සිදුකළ වැඩිදුර පරීක්ෂණ වලදී, මෙම වීසා බලපත්‍රයෙහි ඇති තාක්ෂණික වෙනස්කම් හඳුනා ගෙන,මෙය ව්‍යාජ වීසා බලපත්‍රයක් බව අනාවරණය කරගෙන ඇත.
ඒ සමගම මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය ද දැනුවත් කර විමසීමක් ද ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කර ඇති අතර, එම කාර්යාලීය නිලධාරීන් ද මෙම වීසා බලපත්‍රය ව්‍යාජ එකක් බව තහවුරු කර තිබේ .
ඉන්පසුව මෙම කාන්තාව සහ ඇයගේ වීසා බලපත්‍රය ද වැඩිදුර විමර්ශන කටයුතු සදහා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දී තිබේ.