වල්ලාපට්ටා ගෙවතු මට්ටමින් වගාකිරීමට පියවර


(සුමතිපාල දීයගහගේ සහ ඩී. ජී. සුගතපාල) 
 
ඉතා වටිනා දැව වර්ගයක් වන වල්ලාපට්ට හොරෙන් කැපීම වැළැක්වීමේ එක් පියවරක් වශයෙන් ගාල්ල දිසාව තුළ වල්ලාපට්ට ගෙවතු වගාවක් ලෙස  වගා කිරීමේ වැඩපිළිවෙළක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇත.
 
මේ යටතේ ගාල්ල දිසාවට අයත් නෙලූව, තවලම, නාගොඩ, ඇල්පිටිය, කරන්දෙනිය සහ යක්කලමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තෝරා ගත් පිරිසකට ගෙවතුවල වගා කිරීම සඳහා වල්ලාපට්ට පැළ 2500ක් බෙදාදුන් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගාලු දිසා වන නිලධාරී මොහාන් හීනටිගල මහතා පවසයි.
 
මේ පිළිබද වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මොහාන් හීනටිගල මහතා මෙසේ කීය. 
 
“වනාන්තරවල ඇති වල්ලාපට්ටා ගස්වල ඇට ගෙනවිත් තවාන් කළ පැළ සහ වනාන්තාවලින් ගෙනෙන ලද කුඩා පැළ මේ පිරිසට බෙදා දුන්නා. වසර 8ක් 10යක් ගිය පසු වල්ලාපට්ටා ගසේ ආසාදනයට ලක්වන කොටසේ හැදෙන රෙසිනය ඉතා වටිනවා. විදේශ රටවල සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා මෙම රෙසිනය යොදා ගන්නවා. මිනිසුන් වනාන්තරවල ඇති වල්ලාපට්ට ගස් කපන්නේ ඒ නිසයි. අපේ රටේ දැනට වල්ලාපට්ට ගස් කැපීම, ප්‍රවාහනය සහ ළඟ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක්. එනිසා ඉදිරියේදී වල්ලාපට්ට ගෙවතු මට්ටමින් වගා කිරීමත් සමඟ එම නීති සංශෝධනය කිරීමටද බලාපොරොත්තු වෙනවා” යයිද හීනටිගල මහතා පැවසීය.