වලස් හිස් දෙකක් - මස් තොගයක් අල්ලයි


(ශාන්ත චන්ද්‍රසිරි)

වලස් හිස් දෙකක් හා දඩමස් තොගයක් ලඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු මධ්‍යම වනජීවී කලාපයේ  සිදු කරන ලද විශේෂ වැටලීමකදී අද (19) අත්අඩංගුවට ගත්බව වනජීවී නිලධාරීහු පැවසූහ.

වලස් හිස් දෙකක් හා වල් ඌරෙකුගේ මස් තොගයක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු හා මුවෙකුගේ හා හාවෙකුගේ මස් තොගයක් සන්තකයේ තබා ගත් දෙදෙනෙකු මෙසේ සැකපිට වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වනසත්ත්ව ආඥා පනත යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වනජීවී නිලධාරීහු පවසති.

මධ්‍යම වනජීවී කලාප කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂකවරයා ඇතුළු නිලධාරීන් , හසලක හා කීර්තිබණ්ඩාරපුර වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම් සිදු කොට තිබිණි.