වයඹ පළාත් පාලන අරමුදලින් අඩු ආදායම්ලාභි පවුල් වලට සහනාධාර


( පුෂ්පකුමාර ජයරත්න )

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටින වයඹ පළාතේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා සහනාධාර සැපයීමට පළාත් පාලන ආයතන නියෝජිතයන් වෙනුවෙන් වෙන්කර ඇති සංවර්ධන අරමුදලෙන් සහ පළාත් පාලන ආයතන අරමුදල් වලින් මුදල් වෙන්කරන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා නියම කර ඇත.

ඒ අනුව අඩු ආදායම්ලාභි පවුල් වල සාමාජිකයින් සංඛ්‍යාව අනුව රුපියල් 750 සිට 1500 දක්වා වන වටිනාකමකින් යුක්ත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමට පියවර ගෙන ඇති බව වයඹ පළාත් පාලන කොමසාරිස් අයි.එම්.ඉලංකෝන් මහතා පැවසීය .

ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකමිවරයාගේ හෝ  ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශ අනුව අවශ්‍ය පවුල් තෝරා ගන්නා ලෙසත් විනිවිදභාවයකින් යුක්තව සම්මත මිළකට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදී ගන්නා ලෙසත් පළාත් පාලන ආයතන වලට උපදෙස් නිකුත් කර ඇතැයිද ඉලංකෝන් මහතා ප්‍රකාශ කළේය .