වංචනිකව මුදල් ගත් 6 ක් වේරහැරදී අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තුමේන්තුවේ සේවා කටයුතු ඉක්මණින් ඉටුකර දෙනබව පවසා ජනතාවගෙන් වංචනිකව මුදල් ලබාගත් සංවිධානාත්මක කල්ලියක හයදෙනෙකු  අද (30) අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය හා නුගේගොඩ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදුකර ඇත.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තුමේන්තු පරිශ‍්‍රයේ හා එහි ඉදිරිපිට ඇතුල්වන දොරටුව අසල රැඳීසිටිමින් නව රියදුරු බලපත‍්‍ර ලබාගැනීම, රියදුරු බලපත‍්‍ර ලබාගැනීම සඳහා වෛද්‍ය සහතික ලබාගැනීම, නැතිවූ බලපත‍්‍ර ලබාගැනීම, රියදුරු බලපත‍්‍රවල කාලය දීර්ඝ කරගැනීම, තාවකාලික රිය පැදවීමේ බලපත‍්‍ර ලබාගැනීම හා දිර්ඝ කරගැනීම, නව අයදුම් කරුවන්ගේ ප‍්‍රායෝගික පරීක්ෂණය සමත්කර දීම වැනි කටයුතු සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් මෙම තැරැව්කරුවන් මුදල් ලබාගෙන ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇති බව පොලිසිය පැවසීය.

මෝටර් රථ දෙපාර්තුමේන්තුවට විවිධ සේවාවන් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් අල්ලස් ලබාගෙන රස්තියාදුවකින් තොරව කඩිනමින් සේවාව ඉටුකරදෙන පවසා විවිධ මිල ගණන් යටතේ මොවුන් මුදල් ලබා ගෙන ඇතැයි පොලිසිට කරණු අනාවරණය වී තිබේ.

උපායදුතයන් යොදවා මොවුන් අත්අඩංගුවට ගැනීමට වේරහැර දෙපාර්තුමේන්තු පරිශ‍්‍රයට ගිය අවස්ථාවේ උපායදුතයන් ලෙස සැරසි සිටි පොලිස් නිලධාරීන්ටද මෙම සේවාවන් සිදුකර දීමට හැකියාව ඇති බව තැරැව්කරුවන් පවසා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට දින කිහිපයකට ඉහත දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම දෙපාර්තුමේන්තුවට පැමිණ රියදුරු බලපත‍්‍ර ලබාදීම කඩිනමින් ඉටුකර දෙන ලෙසත් මහජනයාට රස්තියාදුවකින් තොරව තම කටයුතු ඉටුකර ගැනීමට පහසුකම් සලසා දෙන ලෙසත් නියෝගකර නැවත පරීක්ෂාවක් සඳහා කෙටි කාලයකින් පැමිණෙන බවත් පවසා තිබියදීත්, කිසිඳු බියකින් සැකයකින් තොරව මෙම තැරැව්කරුවන් මහජනයාගෙන් මෙලෙස අයථා ලෙස මුදල් ලබාගෙන ඇති බව පොලිසීය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බොරලැස්ගමුව පොලිසියට භාරදුන් බව පොලිසිය පැවසීය.