ලොරි රථ අනතුරින් රියැදුරුට බරපතලයි


වියලුව  නිශාන්ත කුමාර
මහියංගන - මහනුවර 18 වංගුව මාර්ගයේ 14 වන වංගුව අසල දී අද (25) සවස  ගමන් ගත් ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී කානුවකට වැටීමෙන් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා මහියංගන මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හසලක පොලීසිය පවසයි.


 ප්‍රචාරක නාම පුවරු තොගයක් පටවාගෙන මහනුවර සිට මහියංගනය දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථය 18 වංගුව පල්ලම බසිද්දී එක්වරම එහි තිරිංග  ක්‍රියාවිරහිතව ඇති අතර රියදුරා විසින් ලොරි රථය මාර්ගයෙන් ඉවතට ධාවනය කොට එහි වේල්ලකට හැරවීමට යාමේදී මෙම අනතුර සිදු ව ඇත.


 අනතුරට ලක්ව ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
 ලොරි රථයේ ඉදිරි කොටස වේල්ලේ වැදීමත් සමග රියදුරාද ලොරියට සිරවී ඇති අතර ඔහු එලියට ගැනීමට පැයකට  අධික කාලයක් ගතවිය.


 එම අවස්ථාවේ මාර්ගයේ ගමන් ගත්   මහියංගන රෝහලේ ගිලන්  රථයක්   මගින්   අනතුරට පත් පුද්ගලයා රෝහලට ගෙන ඒමට පියවර ගෙන ඇත.


 හසලක පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි  .