ලිහිසි තෙල් තොගයක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට


(සුමතිපාල දීයගහගේ)

රුපියල් දෙලක්ෂ අසූ අට දහසක් වටිනා ලිහිසි තෙල් තොගයක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (28) අත්අඩංගුවට ගත්බව අහංගම පොලිසිය කියයි.

සැකකරු විසින් පෞද්ගලික ගරාජයකට විකුණා තිබූ එම ලිහිසි තෙල් තොගයද සොයා ගත් බව පොලිසිය පැවැසීය.

මෙම වංචාවට සැකකරුවන් සිව් දෙනෙක් සම්බන්ධවී ඇති අතර ඔවුන් විසින් ගාල්ලේ පිහිටි ලිහිසි තෙල් බෙදාහැරීමේ සමාගමකට ගොස් ලිහිසි තෙල් බැරල් හතරක් ඇනවුම් කර එම තෙල් තොගය අහංගම නගරයේ ඉන්ධන පිරිවුම් හලක් අසලට ගෙන එන ලෙස දැනුම්දී තිබේ.

ඒ අනුව ලිහිසි තෙල් සමාගමේ කළමනාකරු මෙම තෙල් බැරල් හතර අහංගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසලට පිටත්කර ඇත.

එම අවස්ථාවේ ලිහිසි තෙල් බැරල් හතර භාරගත් සැකකරුවන් එම තෙල් තොගයේ මුදල් ලබාදීමට ගාල්ලට එන ලෙස තෙල් තොගය රැගෙන එන ලද අයට පවසා ගාල්ලේදී සැකකරුවන් හතරදෙනා පලා ගොස් තිබේ.

පසුව එම සමාගම කරන ලද පැමිණිල්ලක් අනුව මෙම වංචාවේ ප්‍රධාන සැකකරු ගිරිඋල්ලේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙලිවූ තොරතුරු මත පෞද්ගලික ගරාජයකට විකුණා තිබූ ලිහිසි තෙල් බැරල් හතර පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

අනෙක් සැකකරුවන් තිදෙනාද අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇති අතර සැකකරු හෙට (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.