(සනත් ගමගේ)
තිස්සමහාරම රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලිසිනමා ගම්මානය සිනමා කර්මාන්තයට යළි යොමු කරවීමට හැකිවන සේ සංවර්ධනය කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ටෙලි සිනමා ගම්මානයේ අද (09) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
ටෙලිසිනමා ගම්මානයේ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසු අමාත්‍යවරයා ටෙලි සිනමා ගම්මානයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණයට ලක් කළේය.
පසුගිය වසර හතරක කාලය තුළදී ටෙලිසිනමා ගම්මානයේ කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදු වී නැති හෙයින් සිනමා පසුබිම් තල නිර්මාණ සියල්ලම ගරාවැටී තිබෙන අයුරු රාජ්‍ය ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
ඉන්දියාව සමඟ සිනමා කර්මාන්තය දියුණු කිරීම සඳහා රන්මිහිතැන්න ටෙලිසිනමා ගම්මානය ඉදිරියේ දී සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් දේශීය වශයෙන් සිනමා කර්මාන්තය නගා සිටුවීමට පියවර ගන්නා බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
අමාත්‍යංශ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බන්ඩාර, අතිරේක ලේකම් රමණි ගුණවර්ධන, අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් නිලන්ත ගුරුසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.



