රියදුරුට වීර නාමයක් ඉල්ලති


( ප්‍රින්ස් රත්නායක )

බණ්ඩාරවෙල සිට කොස්ගම  දක්වා ධාවනය කරවූ බස් රථය උඩ විහාරගල දී කාර්මික දෝෂයකට ලක්වූ අවස්ථාවේ අඩි දහසක පල්ලමකට යා නොදී බසය ගලක වැදීමට සලස්වා   ජීවිතය 28ක් බේරා ගත් රියැදුරු  එච්.එම්. කීර්ති බණ්ඩාර  මහතාට වීර නාමයක් ලබා දෙන්නැයි ඔහුගේ ඥාතීහු ඉල්ලති.

මෙම අනතුරින් බණ්ඩාරවෙල ඩිපෝවේ සේවය කළ රියදුරාගේ ජීවිතය අහිමි විය.

තම පවුලේ ත්‍රිවිධ හමුදාවේ සේවය කරන නිලධාරීන් දෙදෙනකු සිටින බව පවසන පවුලේ උදවිය ත්‍රිවිධ හමුදාවල සේවයේ නියුතුව සිටියදී මෙවැනි අවස්ථාවක මෙවැනි ක්‍රියාවක් කළේ නම් වීර විභූෂණ පදක්කම් ලැබෙන නමුත් ඩිපෝවල එවැනි තත්ත්වයක් නොමැති බවත් කියති.

තම සහෝදරයා ජීවිතය පරදුවට තබා ජීවිත ගණනාවක් බේරා ගත් බවත් ඔහු කළ ක්‍රියාව අමරණීය බැවින් එය එය සිහිවීම වෙනුවෙන් වීර නාමයක් ලැබෙනවා නම් සතුටක් බවත් මියගිය බණ්ඩාරගේ සහෝදරවරු සහ බිරිඳ ප්‍රියංගිකා නිල්මිණී පැවසූහ.

 පසුගිය   6 වැනිදා  මාරක අනතුරෙන් මියගිය රියදුරු මහතා වෙනුවෙන් නිවසේ    ධර්ම දේශනයක් ද හත් වැනිදා දහවල් දානමය පුණ්‍යකර්මයක් ද සිදු කෙරිණි.