රිය අනතුරකට ලක්වූ අයෙකුගේ සිරුරක් වලස්මුල්ලෙන් හමුවෙයි


(චන්ද්‍රසේන ගමගේ)

වලස්මුල්ල ,බෝවල, වැවුවත්ත - දෙනිය අතුරු මාර්ගයේදී රිය අනතුරකට ලක්වීමෙන් මිය ගිය බවට සැක කෙ‌‌රෙන පුද්ගලයෙකු ගේ සිරුරක් අද (07) හමු වූ බව වලස්මුල්ල පොලිසිය පැවසීය.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ බෝවල ප්‍රදේශයේම පදිංචි අවිවාහක 44 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.

ඔහු කථන අබාධයකින් පෙළෙමින් සිටි අයෙකු බවට තොරතුරු ලැබී ඇතියිද  පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ  සිදුකළ වලස්මුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මළ සිරුරට යටවී තිබූ ජංගම දුරකථනයක් සොයා ගෙන ඇති අතර ඒ ඔස්සේ සිදු කළ පරීක්ෂණ වලින් අනතුරුව රිය අනතුරට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

 

 

අත් අඩංගුවට පත් වූ අය වලස්මුල්ල පඹුරාව හා බෝවල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය කියයි.

පොලිසිය සිදු කළ විමර්ශන වලින් පසුව  අනතුර පිළිබඳව කරුණු අනාවරණය කොට ගෙන ඇති අතර එම කරුණු අනුව අනතුරු සිදු වී ඇත්තේ ඊයේ (06) රාත්‍රී කාලයේදීය.

අත් අඩගුවට පත් සැක කරුවන් 05 දෙනා ඊයේ (06) ඇඳීරි නීතිය පවතිද්දී කිසියම් ස්ථානයක සිට මත්පැන් පානය කොට අනතුරුව කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී මිය ගිය අය කැබ් රථයේ ගැටී තිබේ. පසුව අනතුර වසන් කිරීම සඳහා පිරිස පලා ගොස් තිබේ.

මේ වන විට වලස්මුල්ල පොලිසිය විසින්  අනතුර සිදු කළ කැබ් රථයද සොයා ගෙන ඇති අතර විමර්න වලින් අනතුරුව සැක කරුවන් 05 දෙනා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.