රඹෑව ප්‍රා. සභාවේ ආදායම් පරීක්ෂකට පහර දෙයි


දයාරත්න ඇඹෝගම                                                    

රඹෑව නගරයේ අනවසරයෙන් ප්‍රදර්ශනය කර ඇති නාම පුවරු ඉවත් කිරීමට ගිය රඹෑව ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයාට ආධාරක පංතියක් පවත්වා ගෙන යන ගුරුවරයෙකු අද(23) පස්වරුවේ පහරදී ඇතැයි මිහින්තලය පොලිසිය කියයි.                              
මෙසේ පහර කෑමට ලක්වූයේ රඹැව ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයා වශයෙන් සේවය කරන ඒ. කීර්තිසිංහ මහතා ය.                                                 
ප්‍රාදේශීය සභාවට බදු මුදල් නොගෙවා නගරයේ අනවසරයෙන් ප්‍රදර්ශනය කර තිබූ නාමපුවරු ඉවත් කිරීමට නිලධාරීන් පිරිසක් සමඟ රාජකාරියේ නිරතව සිටියදී ආදායම් පරික්ෂකවරයා මෙම ප්‍රහාරයට ලක්වූ බව පොලිසිය කියයි.                                                       
සැකකාර ගුරුවරයා පවත්වාගෙන යන උපකාරක පංතිය ඉදිරිපිට සවිකර තිබූ නාම පුවරුව ඉවත් කිරීමට ගිය අවස්ථාවේ ඇතිවූ බහින්බස්වීමක් පහරදීමට හේතු වී ඇතැයි පොලිසිය පවසයි.                                           

සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලිසිය විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත.