රත්ගම ඝාතනයේ සැකකරුවන් 17 දෙනා තවදුරටත් රිමාන්ඩ්


(ඩී.ජී.සුගතපාල)

රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකාර පොලිස් නිලධාරින් 15 දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 17 දෙනා තවදුරටත් පෙබරවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (9) නියෝග කළේය.

මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ හිටපු ස්ථානාධිපති  පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ,  උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන්  17 දෙනා වෙති.

රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ  අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23 වැනිදා  පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.