(ක.ග.කරුණාරත්න)
මෙවර යල කන්නයේ(2020) පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ වී වගාව සඳහා අවශ්‍ය නිර්දේශිත රජයේ සහනාධාර පොහොර වර්ග සියල්ලක්ම මේ වනවිට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත නිකුත් කර අවසන් යැයි පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා අද(15) පැවැසීය.
ඒ අනුව පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් මහවැලි කලාප,මහා වාරිමාර්ග සහ සුළු වාරිමාර්ග ඇතුළු සියලූම කුඹුරු ඉඩම් සඳහා ගොවි ජනතාවට බාධාවකින් තොරව තමන්ට අවශ්‍ය පොහොර වර්ග ලබාගැනීමට හැකිවනු ඇති බවද ඒමහතා කීය.
දැනට මාදුරුඔය ජලාශය යටතේ සහ පරාක‍්‍රම සමුද්‍රය යටතේ වී වගා කරන කුඹුරුවලට යල කන්නයේ වී වගාව සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර තිබෙන බවත් මේ මස 20වෙනි දින මින්නේරිය ජලාශයේත් ගිරිතලේ සහ කවුඩුල්ල යන වැව්වල මේ මස 25 වෙනි දිනත් යල කන්නයේ වී වගාවට ජලය නිකුත් කිරීම ආරම්භ කිරීමට නියමිතව ඇතැයිද දිස්ත‍්‍රික් ලේකම් වරයා ප‍්‍රකාශ කලේය.
මේ වනවිට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ මහ වැව් සියල්ලකම සතුටුදායක ජල මට්ටම් තිබෙන බවද යම් හෙයකින් කවුඩුල්ල සහ ගිරිතලේ යන වැව්වලට ජල හිඟයකට මුහුණපෑමට සිදුවුවහොත් මොරගහකන්ද ජලාශයෙන් අවශ්‍ය ජල ප‍්‍රමාණය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කලේය.
රජයේ සහනාධාර - පොහොර සියල්ලක්ම බෙදා අවසන්
Recommended Articles