රජය සතු ඉඩමක් බලහත්කාරයෙන් සුද්ද පවිත්‍ර කළ අයෙක් අත්අඩංගුවට


(රංජිත් රාජපක්ෂ)                       

කාසල්රි ජලාශයට යාබදව නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ රජය සතු ඉඩමක් බලහත්කාරයෙන් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් සුද්ද පවිත්‍ර කරමින් සිටි බැකෝ යන්ත්‍රයේ ක්‍රියාකරුවෙකු මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (03) අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට සම්බන්ධ යැයි කියා ගන්නා අයෙකු විසින් එම ඉඩම බලහත්කාරයෙන් අත්පත් කරගෙන දින කිහිපයක සිට ඉඩම සුද්ද පවිත්‍ර කිරීම සඳහා බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට අදාල කොන්ත්‍රාත්තුව ලබා දී ඇත.

අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදාවට පත් පවුල් වෙනුවෙන් නිවාස ඉදි කිරීමට ඉඩම් ලබා දීම සඳහා වෙන් කර තිබූ ඉඩමේ සැකකරු විසින් අක්කරයක පමණ කොටසක්  සුද්ද පවිත්‍ර කර ඇති බව වැටලිම සිදු කල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් පැවසීය.

සැකකරු විසින් රජයේ සතු ඉඩම බලහත්කාරයෙන් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් සුද්ද පවිත්‍ර කරන බවට  මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට අද (03) ලද තොරතුරක් මත වැටලීම සිදුකර සැකකරු සහ බැකෝ යන්ත්‍රය අත්අඩංගුවට ගෙන නොර්වුඩ් පොලිසියට භාර දී ඇත.