යහපාලනයට එරෙහිව සංදර්ශන රථයක්


(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
   
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ සම්මු මහතා  යහපාලන රජයේ වසර තුනක පාලනයට එරෙහිව  සංදර්ශන රථයක් පෙරටුකර ගනිමින් කවි කියමින් අද (28) පැවති දකුණු පළාත් සභා රැස්විමට සහභාගී වීමට පැමිණියේ ය. 

මන්ත්‍රීවරයාගේ පිටුපසින් පැමිණි සංදර්ශන රථයේ භික්ෂුන් වහන්සේ නමක්  , රණවිරුවකු සිරගත කර  තැබීම, කොටිත්‍රස්තවාදියකු නිදැල්ලේ සිටිම , මහ බැංකු කොල්ලයේ  මහ මොලකරු නිදැල්ලේ සිටින අයුරු නිරුපණය කරන චරිත දැකගත හැකිවිය.

 අපේ  හාමුදුරුවෝ  සිරගෙට, මහ බැංකු හොරුන් එළියට, මොලයක් නැතිවුන් හට හෙන වැදියන් ඔලුවට,  ආදි කවි කියමින් මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පාගමනින් ගාල්ල කළේගානේ පිහිටි  දකුණු පළාත් සභාව ඉදිරිපිටට පැමිණියේය.  
දකුණු පළාත් සභාවේ මන්ත්‍රී බද්දේගම සමිත හිමියන්, දකුණු පළාත් සභා මන්ත්‍රිවරුන් වන පත්මසිරි ද සිල්වා, චන්න සාලිය මෙන්ඩිස්  යන මන්ත්‍රීවරු  විසින් ආරියවංශ මන්ත්‍රීවරයා  සභාව ඉදිරිපිටදී උණුසුම් ලෙස පිළිගනු ලැබිය. 

පසුව පළාත් සභාව ඉදිරිපිටදී මන්ත්‍රීවරයා ඇතුළු පිරිස යහපාලන රජයට  එරෙහිව විරෝධතාවයේ නිරත වුහ.