යතුරු පැදියෙන් ගංජා ගෙනගිය දෙදෙනා අත්අඩංගුවට


(වියලුවේ නිශාන්ත කුමාර)

යතුරු පැදියකින් ගංජා පාර්සලයක්  ප්‍රවාහනය කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු අද (04)  දහවල් මහියංගන - රත්කිඳ ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්හංදිය  අසලදී ඔවුන් සතුව තිබූ ගංජා පාර්සලය සහ යතුරු පැදියද සමග අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රත්කිඳ හා ගිරාඳුරුකෝට්ට ගල්  කසර් හන්දිය පදිංචි   අවුරුදු 26 සහ 29 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි.

ඔවුන් සතුව තිබූ ගංජා ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැත.

තරුණයින් දෙදෙනෙකු මහියංගන-රත්කිඳ ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියකින් ගංජා පාර්සලයක් රැගෙන යන බවට   පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අද (04) දින උසාවියට ඉදිරිපත් කිරීම්ට නියමිතය.

ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානාරච්චි මහතාගේ උපදෙස් පරිදි ගිරාඳුරුකොට්ටේ පොලිස් නිලධාරීහු සැකකරුවන්, යතුරු පැදිය සහ ගංජා පාර්සලය    අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.

ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.