මුහුදේ පාවෙමින් තිබූ මළ සිරුරක් හමුවෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිත කුමාර ද සිල්වා)

ඩෝරා යාත්‍රාවකින් ගමන් ගත් නාවික හමුදා සෙබලුන් පිරිසකට හමු වූ නාඳුනන පිරිමි මළ සිරුරක් අද (25) ගොඩ බිමට රැගෙන විත් බේරුවල පොලිසියට භාරදී තිබේ.

බේරුවල ධීවර වරායේ සිට මුහුදු සැතපුම් 25 ක් පමණ දුරින් මුහුදේ පාවෙමින් තිබී මෙම මළ සිරුර හමු වී ඇතැයි පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා ලාංකික පුද්ගලයෙක්ද විදේශීය පුද්ගලයෙක්ද යන්න නිශ්චිත ලෙස කිව නොහැකි බව පොලිසිය සඳහන් කරයි.

ශරීරයේ ඇතැම් කොටස්  මුහුදු ජීවීන් විසින් කා දමා ඇති බවත් හිසකෙස් සම්පූර්ණයෙන් ගොස් තිබූ බවත් මළ සිරුර දැඩිව නරක් වී තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කලුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසීය.