මුදල් ඔට්ටුවට සූදු කෙළියේ යෙදී සිටි 5 ක් අත්අඩංගුවට


 

 
ජයරත්න වික්‍රමාරච්චි  

                                                
නවගත්තේගම පොලිස් වසමට අයත් කැලේවැව මීඔය අයිනේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි බව කියන පුද්ගලයන් පස්දෙනෙකු රුපියල් පහළොස් දහස් එකසියයක මුදලක්, බූරුකුට්ටමක් හා පැදුරක් ද සමඟ අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.


අදාළ ප්‍රදේශයේ සූදු පිටියක් පවත්වාගෙන යන බවට  ලද තොරතුරකට අනුව පොලීසිය මෙම වැටලීම සිදුකර ඇත.


වැටලීම සිදුකරන අවස්ථාවේදී සූදු සෙල්ලම් කරමින් සිටි බව කියන තවත් සැකකරුවන් පස්දෙනෙකු පමණ පළා ගොස් ඇති බවත්, ඔවුන්වද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් පොලීසිය පවසයි.


මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ආණමඩුව මැරුංගොඩ හා නවගත්තේගම ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.