( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ කෘෂි වන වගාව සංවර්ධනය කිරීම සඳහා මියන්මාර රජයෙන් තේක්ක බීජ 15,000 ක් පිරිනමා ඇතැයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කර සිටී.
ඉකුත් අපේ‍්‍රල් මාසයේ පැවති දෙරට අතර ද්විපාර්ශ්වික ඒකාබද්ධ කොමිෂන් සභාවේ 3 වන සැසියේ දී ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් අනුව මෙම තේක්ක බීජ පිරිනමා ඇති බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසීය.
උසස් තත්ත්වයෙන් යුතු මෙම තේක්ක බීජ බාරදීමේ උත්සවය මියන්මාරයේ ස්වාභාවික සම්පත් හා පරිසර සංරක්ෂණ අමාත්‍යාංශයේ දී ඉකුත් දා සිදු කෙරැණු අතර, මියන්මාරයේ ස්වාභාවික සම්පත් හා පරිසර සංරක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය යෙ මයින්ට් ස්වී මහතා විසින් ශ්‍රී ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක මහතා වෙත නිල වශයෙන් මෙම බීජ තොගය ලබා දෙන ලදී.
ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය යටතේ 1980 වසරේ සිට ක්‍රියාත්මක මියන්මාරයේ තේක්ක ජාන සම්පත් සංරක්ෂණය යටතේ මෑතකදී ලබා ගත් බීජ තොගයක් මෙලෙස ශ්‍රී ලංකාවට පිරිනැමේ.



