(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයකුට පොලුවලින් පහර දී පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් තිදෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීමට පානදුර මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය.
එම චෝදනාවලට ලක්ව සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු නිදොස් කර නිදහස් කිරීමට වැඩිදුරටත් නියෝග කෙරිණි.
මරණ දණ්ඩනය නියම වූයේ පානදුර අලුබෝමුල්ල පදිංචි උස්වත්ත ලියනගේ විජයානන්ද පෙරේරා, නානායක්කාර අඹුලුගමගේ මංජුල හෙවත් ගංජා මංජු හා හල්පවන්තගේ කුමාරසිංහ හෙවත් කුඩු මංජු නමැත්තන්ය.
නිදොස් කර නිදහස් කර ඇත්තේ හැලිකඩ ආරච්චිගේ සංජීව හා රුවන් අහමඩ් නැමැත්තන්ය.
2003 අප්‍රේල් 14 වැනි දින පානදුර අලුබෝමුල්ල පදිංචි ගලහිටියාවගේ රංජිත් නමැත්තා සමඟ පැවැති ආරවුලක් හේතුවෙන් ඔහුව ඝාතනය කර තිබූ අතර 2005 වසරේ සිට වසර 14ක් මෙම නඩුව මහාධිකරණයේදී විභාග විය. මීට පෙර ලබාදුන් නඩු තීන්දුවෙන් මෙහි පුද්ගලයන් පස්දෙනාට මරණීය දණ්ඩනය හිමි වූ අතර, ඔවුන් විසින් ඇපෑලක් ඉදිරිපත් කිරීමෙන් පසු ඉහත නියෝගය කරන ලදී.
පැමිණිල්ල පානදුර පොලිසියේ අධිකරණ කටයුතු භාර පොලිස් කොස්තාපල් 75201 විජේවර්ධන මහතා විසින් සිදුකරන ලදී.

