(ක.ග.කරුණාරත්න)
මින්නේරිය පොලිස් වසමේ ජයන්තිපුර, පහේඇළ හේන්කොළයාය ප්‍රදේශයේ නිවසක තිබී පුද්ගලයකුගේ සහ ඔහුගේ දියණියගේ සිරුරු අද(01) සොයාගත් බව මින්නේරිය පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ, හේරත් මුදියන්සේලාගේ වසන්ත කුමාර නමැති 45 හැවිරිදි අයෙකු සහ ඔහුගේ දියණිය වන විශ්මි දිලීෂා නමැති 13 හැවිරිදි දැරියකි.
එම දැරිය වස ශරීරගත වීමකින් මිය ගිය බවට සැකකෙරෙන අතර, ඇගේ පියාගේ මළ සිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත.
සිද්ධිය වන අවස්ථාවේ නිවසේ කිසිවකු නොවූ බවද, එම පුද්ගලයාගේ බිරිඳ විදේශයේ සිට පැමිණ සිය මවගේ නිවසේ රැඳී සිට ඇති බවද, පවුල් ආරවුලක් මීට හේතුවන්නට ඇති බවද, පියා දියණියට වස පොවා තමන්ද දිවි නසාගන්නට ඇතැයි සැකකරන බවද පොලිසිය පවසයි.
මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.
මින්නේරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

