මැලේරියා රෝගීන් 35 ක් ගත වු මාස කීපයේ හමුවෙයි



 
(හසිත රංග ගුණතිලක)

 
මෙම වසරේ ගතවූ මාස නවයක කාලය තුළ මැලේරියා රෝගීන් 35දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවද ඔවුන් සියලුම දෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවද මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.


ඒ අනුව එම පිරිස අතර විදෙස් ගතව පැමිණි ලාංකිකයන් 11 දෙනෙකු සහ විදේශීය ජාතිකයන් 24දෙනෙකු වන බවද ඉන් රෝගීන් 21 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවද හේරත් මහතා කීය.


එම රෝගීන් අතර සාම සාධක හමුදා බළකායට සම්බන්ධ වූ හමුදා නිලධාරීන් 8දෙනෙකු, මැණික් ව්‍යාපාරිකයන් 5දෙනෙකු, විදෙස් රැකියාවල නිරතවූවන් 7 දෙනෙකු සහ සංචාර සඳහා පැමිණි 15 දෙනෙකු වාර්තා වී ඇතැයි ද, ඒ අතරින් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි සංක්‍රමණිකයන්ගෙන් බවද චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.


මැලේරියා රෝගීන් වැඩි පිරිසක් එම රෝගයට ගොදුරු වී ඇත්තේ මොළේ මැලේරියාව වැළඳීමෙන් බවද, 2009 වසරෙන් පසුව මැලේරියා රෝගය වැළඳීම හේතුවෙන් මෙරට කිසිදු රෝගියකු මිය ගොස් නොමැති බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.