මැණික් ඉල්ලම් තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට


(රංජිත් රාජපක්ෂ)                       

බලපත්‍ර නොමැතිව මැණික් ඉල්ලම් තොගයක් ප්‍රවහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් වෑන් රථයක් සමඟ හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අද (10) අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් දික්ඔය ප්‍රදේශයේ සිට හැටන් නොර්වුඩ් දක්වා මෙම මැණික් ඉල්ලම් තොගය ප්‍රවහනය කරමින් සිටියදී හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද  තොරතුරක් මත හැටන් දික්ඔය නගරයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් සිට කාසල්රි ජලාශයට ජලය ගලා බසින දික්ඔය ඇළ මාර්ගය ආසන්නයේ විශාල වලවල් කපා මැණික් ඉල්ලම් ගොඩගෙන ඇති බව වැටලීම සිදු කළ කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීහු සඳහන් කළහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර නොර්වුඩ් මහ මාර්ග කාර්යාලයේ සේවය කරන නිලධාරියෙක්ද සිටින බව එම ඒකකයේ නිලධාරිහු පැවැසූහ.

මෙම වැටලීමේදී සැකකරුවන් ප්‍රවහනය කරමින් සිටි මැණික් ඉල්ලම් තොගයක් , මැණික් ඉල්ලම් ගොඩ ගැනීමට භාවිතා කළ උපකරණ රැසක් , ජලය ඉසින මෝටරයක් අත්අඩංගුවවට ගෙන ඇත.