මහකච්චකොඩිය 70 ක් නිරෝධායනයට


සිතුම් චතුරංග

වවුනියාව , මහකච්චකොඩිය ගම්මානයේ කොවිඩ් 19 වයිරසය ආසාදිත නාවික හමුදා සෙබලා සමඟ සෘජු සබඳතා පැවැත්වූ පවුල් 23කට අයත් පුද්ගලයින් 70 දෙනකු අද(27 ) ස්වයං නිරෝධායනයට ලක්කල බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.

එම පුද්ගලයින් අතර දරුවන් කිහිපදෙනකු වන බවත් දින 21 කාලයක් පිරිස ස්වයං නිරෝධායනයට ලක්කරන බවද පැවසීය.

නිරෝධායනයට ලක්කල පිරිස හට වයිරසය ආසාදනය වී තිබේදැයි යන්න පි.සී.ආර් පරීක්ෂණය සිදුකිරීම සඳහා ජෛව සාම්පල ලබාගැනීම ඉකුත් දින කිහිපයේ සිදුකරන බවත්ය.

වවුනියාව මහකච්චකොඩිය ගම්මානයේ පවුල් 16ක් , අග්බෝපුර ගම්මානයේ එක් පවුලක්, මාමඩුව ධීවර ගම්මානයේ පවුල් දෙකක්, මාමඩුව ,අලුත්ගම්මානයේ පවුල් දෙකක් හා මඩුකන්ද හා අම්බලන්ගොඩැල්ල ප්‍රදේශයේ පවුල් දෙකක් ස්වයං නිරෝධායනයටලක් කල බව සඳහන් කළේය.

ආසාදිත නාවික හමුදා සෙබලා ඇසුරුකළ තවත් පිරිසක් හදුනාගෙන ඇති අතර ඔවුන්ද නිරෝධායනයට ලක්කරන බවද පැවසීය.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පසුගිය 21 වැනිදා නිවාඩුලබා පැමිණි වවුනියාව , මහකච්චකොඩිය ප්‍රදේශයේ නාවික හමුදා සෙබලෙකු හට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී කොවිඩ් 19 වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරුවීමත් සමඟ ඔහු ඇසුරු කළ මෙම පිරිස නිරෝධායනයට ලක්කොට තිබේ.

වයිරසය ආසාදිත නාවික හමුදා සෙබලා පෙරේදා (26) රාත්‍රියේ වවුනියාව මහ රෝහලෙහි විශේෂ කොරෝනා වෛරස ඒකකය වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහු හලාවත කොරෝනා රෝගීන් සඳහාවූ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන යනු ලැබීය.