මනම්පිටියේ වැලි ගොඩදමන කම්කරුවෝ විරෝධයක


(නිමල් ජයරත්න)
 

පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩදැමීම තාවකාලිකව අත්හිටුවීමෙන් තමන් දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇතැයි කියමින් අද(19) කම්කරුවෝ පිරිසක් මනම්පිටිය මහවැලි පාලම අසළ සාමකාමී විරෝධතාවක නිරතවූහ.
 
මාසයකට අධික කාලයක් මහවැලි ගඟෙන් වැලි ගොඩදැමීම කළමනාකාරීත්වය අත්හිටුවීමත් සමඟ තම පවුල් ආර්ථික අපහසුතාවට ලක්ව ඇතැයි වැලි ගොඩදමන කම්කරුවෝ පවසති.
 
කම්කරුවන් 300කට අධික පිරිසක් විරෝධතාවට එක්වෙමින් පැවසුවේ වැලි ගොඩදැමීමේ අයිතිය තමන්ට ලබාදීමට කටයුතු කරන ලෙසයි.
 
මනම්පිටියේ වැලි ගොඩ දමන පවුල් 3000කට අධික පිරිසක් සිටින බවද, මීට මාස කිහිපයකට පෙර වැලි සමාගමට ගිනි තබා ලියකියවිලි විනාශ කර දැමීමත් සමඟ වැලි ගොඩදැමීම තාවකාලිකව අත්හිටුවා ඇතැයිද ඔවුහු කියති.
 
තමන් ගොඩදමන වැලි මිලදීගැනීමට ටිපර් රථකරුවන් සහ ගැනුම්කරුවන් විශාල වශයෙන් සිටියද, ඊට සමාගම් හරස්වීම නිසා ඔවුන්ට වැලි ලබාදීමට නොහැකිව ඇතැයිද ඔවුහු  පවසති.
 
පොළොන්නරුව පොලිසිය එම ස්ථානයට පැමිණ වැලි සමාගම් නිලධාරීන් හා සාකච්ඡා කර, දැනට ගොඩදමා ඇති වැලි පැටවීමටත්, ඒ වෙනුවෙන් මුදල් බැංකුගත කරන ලෙසටත් පොරොන්දු වීමෙන් පසු විරෝධ අවසන් විය.