බෙහෙත් එන්නත් කිරීමට යොදාගත් කටු සියල්ල වල් අලියා විනාශ කරදමයි


(කුෂාන් ජයවරධන)  

තුවාල ලැබූ වල් අලියෙකුට කලාවැව් ඉස්මත්තේදී ප්‍රතිකාර කිරීමට වනජීවි නිලධාරීහු අද (20) කටයුතු කළ අතර එහිදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු එම වල් අලියා වනජීවි නිලධාරීන් බෙහෙත් එන්නත් කිරීමට යොදා ගත් එන්නත් කටු සියල්ල සපා කා විනාශ කර දැමූ බව වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා පැවසීය.

මෙලෙස ප්‍රතිකාර කරනු ලැබූයේ ඉකුත්දා කලාවැව විජිතපුර ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් අනතුරට පත් වල් අලි තිදෙනා අතරින් එක් වල් අලියෙකුට වන අතර එම අලියාට ප්‍රතිකාර කරනු ලැබූයේ තෙවන වරටය. දුම්රිය අනතුරට ලක්ව සිටින එම අලියාගේ පසුපස පාදයකට බරපතළ හානි සිදුව තිබේ.

දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා සිටින එම අලියා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරිමට පටන් ගෙන තිබේ. එම අලියාට දෙවන වරට ප්‍රතිකාර කළ අවස්ථාවේ ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු එම අලියා වනජීවී නිලධාරීයකු ඇතුලු තිදෙනෙකු ගමන් ගත් ඔරුවකට කලාවැව් දියේදී පහර දෙනු ලැබීය.

අලියාගේ ප්‍රචන්ඩත්වය හමුවේ අද  දිනයේ ද දැඩි වෙහෙසක් දරා එම අලියාට ප්‍රතිකාර ලබා දීමට වනජීවී නිලධාරීන් කටයුතු කළ බව වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා  පැවසීය. අද එම අලියාට ප්‍රතිකාර කරනු ලැබූවේ කලාවැව් ඉස්මත්තේ මහ වනය තුළදී ය.

එහිදී වනජීවී නිලධාරීන් අලියාට එන්නත් ලබා දීමට යොදා ගත් එන්නත් කටු සියල්ල සපා කා විනාශ කිරීමට කටයුතු කළ බව වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා කීය.

වයඹ වනජීවී කලාපයේ නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ මහතා ඇතුලු පිරිසක් හා ගල්කිරියාගම වනසත්ව අඩවි කාරයාලයේ නිලධාරීහු අලියාට ප්‍රතිකාර කළහ.‍