බුලත්සිංහල කුඩලිගම නිවාස 36ක් සහ විහාරස්ථානයක් නිරෝධායනට


ප්‍රේමතිලක පෙරමුණ

බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඩලිගම ප්‍රදේශයෙන් ඉකුත් 25 වන දින කොවිඩ් 19  වෛරසය ආසාදිත  නාවික හමුදා සෙබලෙකු ඇසුරු කළ නිවාස 36 ක් සහ කුඩලිගම  විහාරස්ථානය ඉකුත් 27 සවස නිරෝධායනයට  ලක් කළ බව බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීි කාර්යාලය පවසයි 

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර ඇති 33 හැවිරිදි  මෙම  නාවික සෙබලා ඉකුත් 15 වන දින නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර ,ඉකුත් 25 දින පීසීආර් පරීක්ෂණයට  යොමු කිරීමෙන් පසු  වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත 

ඒ අනුව එම නාවික සෙබලා ඉකුත් 26 දින කොළඹ අයිඩීච් රෝහලට ඇතුලත් කර ඇති අතර,27 දින  ඔහු පදිංචි ප්‍රදේශයේ  මාර්ග සහ නිවාස කිහිපයක්  විෂබීජානුහරණය කරන ලදී 

මෙහිදී මෙම නාවික සෙබලා  ඇසුරු කරන ලදැයි පැවසෙන නිවාස 36 ක් සහ  ඔහු  ආ ගිය කුඩලිගම විහාරස්ථානය නිරෝධායනයට   ලක් කිරීමට  සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කරන ලදී

මේ අතර මෙම නාවික සෙබලාගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා  සුළු වශයෙන් යම්  රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා නාගොඩ මහ රෝහලට ඇතුළත් කිරීමට බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය  කටයුතු කරන ලදී

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර  නිවාඩු ලබා පැමිණි  නාවික සෙබලුන් තුන්දෙනකු  බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ,පදිංචි බවත්,එම තිදෙනාගෙන් එක් අයෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බවත් ,එම සෙබළා ඇසුරු කළ තවත් පුද්ගලයන් සිටිදැයි  තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවද බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය පවසයි