බියර් කන්ටේනරයක් පාර හරහා පෙරලෙයි


(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඹුල්පෙ නාලක ජේ. හෙට්ටිආරච්චි)

බලන්ගොඩ  රත්නපුර ප්‍රධාන මාර්ගයේ  බලන්ගොඩ  මාදොල  ප්‍රදේශයේ දි බියර්   බෝතල් ප්‍රවාහනය  කරමින්  තිබුණු  කන්ටේනර්  රථයක්  මාර්ගයේ එක්  මංතීරුවකට අද (30) දා පෙරවරුවේ පෙරලීමෙන් විශාල අලාභහානි සිදුව  ඇතැයි පොලිසිය පවසයි.

බියගම බියර් කර්මාන්තශාලාවක  සිට බදුල්ල  ප්‍රදේශය  දක්වා  බියර් බෝතල් ප්‍රවාහනය කරමින් තිබූ  කන්ටේනර්  රථයක්  මෙලෙස පෙරලී ඇතැයි පොලිසිය කියයි. බියර්  බෝතල්  25000කට  ආසන්න  ප්‍රමාණයක්  එය පෙරලෙන  විට  එම කන්ටේනර්  රථයේ  තිබී ඇත. කන්ටේනර්  රථය පෙරලීමත් සමග ප්‍රදේශයේ  තරුණ පිරිස එයින්  බියර් බෝතල් ලබා ගැනීමට උත්සාහ කර තිබීම හේතුවෙන් කන්ටේනර් රථය එම ස්ථානයෙන් ඉවත් කරන තෙක් පොලිස් ආරක්ෂාව යොදවා  ඇත. කන්ටේනර්  රථයේ  ඇති වී තිබෙන  කාර්මික  දෝෂයක්  හේතුවෙන්  එය පෙරලී  ඇති බවට පොලිසිය  සිදුකල මුලික  විමර්ශන  වලදි අණාවරණය  වි ඇත.