බදුල්ලේ වතු 7 ක නිළධාරීන් වැඩවර්ජනයක



 
 
 
(විජේරත්න රත්නායක )
 
ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් බදුල්ල ප්‍රදේශයේ වතු 7 ක කාර්යාල කාර්ය මණ්ඩලය හා ක්ෂේත්‍ර‍ නිළධාරීන් අද (24) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.


එම වතුවල ළමා පාලිකාවන්ට ඉරිදා අතීකාල දීමනා ලබාගැනීම, කොන්ත්‍රාත් පදනමින් සේවය කරන නිළධාරීන් හා සේවකයින් ස්ථිර කිරීම, කාර්යාල සේවය පැය 8 කට සීමා කිරීම, උසස්වීම් නිසිකලට ලබාදෙන ලෙස ඉල්ලීම, යෝජිත නව දිරි දීමනා පත්‍ර‍ය වහා අස්කර ගන්නා ලෙස බලකිරීම, පදිංචියට සුදුසු පරිදි නිල නිවාස අළුත්වැඩියා කරදෙන ලෙස බලකිරීම යන කරුණු සම්බන්ධයෙන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත.


ලංකා වතුසේවා සංගමයේ මෙහෙයවීමෙන් මඩොල්සීම වැවිලි සමාගමට අයත් මහදෝව, වැරැල්ලපතන, ඌවකැලේ, ගල්ලුල්ල, බටවත්ත, කොකාගල, රෝබේරිය යන වතුවල කාර්යාල කාර්ය මණ්ඩලය හා ක්ෂේත්‍ර‍ නිළධාරීන් 50 කට ආසන්න පිරිසක් මෙම වර්ජනයට එක්ව සිටින අතර වර්ජනය හේතුවෙන් එම වතු සියල්ලේ දෛනික කටයුතු අඩාලව තිබේ.