(තරිඳු ජයවර්ධන)
මාධ්‍යවේදියකුට පහර දී කැමරාවට අලාභ හානි කළැයි කියමින් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනකුට සහ සිසුන් හය දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාට එරෙහිව 2014 මාර්තු මාසයේ ඇතිවූ සිසු විරෝධතාවයක් වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට පහර දී කැමරාවට අලාභ හානි කළැයි කියමින් ගම්පහ මූලස්ථාන පොලිසිය මෙම නඩුව පවරා තිබිණි.
මෙම සිදුවීම ඒ දිනවල දැඩි කතාබහකට ලක් වූ අතර පොලිසිය නියම සැකකරුවන් සිටියදී බලපෑම් මත මෙම පිරිසට නඩු දැමූ බව විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් කියැවිණි. සැකකරුවන් අත්අඩංගුවට ගත් බවට එක් පොලිස් පරීක්ෂකවරයකු අත්සන් තබා ඇතිබවත්, සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ තමන් බව තවත් පොලිස් පරීක්ෂකවරයකු පැවසූ බවත් නඩුවේදී කියැවිණි.
කෙසේ වෙතත් වසර හතරකට ආසන්න කාලයක් පැවැති නඩු විභාගයෙන් පසු ගුරුවරුන් දෙදෙනා ඇතුළු සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කළේය.
මෙම සිදුවීමෙන් පසු ගුරුවරුන් දෙදෙනා වෙනත් පාසල්වලට මාරු කළ අතර එක් ගුරුවරයකු රාජ්‍ය සේවා කොමිසමේ නියෝගයෙන් යළි එම පාසලටම මාරු කරනු ලැබීය. අනිත් ගුරුවරයාගේ පෙත්සම මේ වන විටත් විභාග වෙමින් පවතී.
තීන්දුව ලැබෙන විට සිසුන් පිරිස පාසල් අධ්‍යාපනය නිම කර තිබේ.