බණ්ඩාරගම රිය අනතුරකින් අට හැවිරිදි දරුවෙක් මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම ගල්තුඩේ හන්දියේදී අද (18) පස්වරුවේ යතුරුපැදියක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පිටුපස ගමන්ගත් අට හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය පැවසීය.

යතුරුපැදියේ ඉන්ධන ටැංකිය මත වාඩි වී සිටි හය හැවිරිදි දියණිය අනතුරින් බරපතල තුවාල ලබා ඇති බවත් තුවාල ලැබූ යතුරුපැදිය පැදවූ පියා සහ ත්‍රීරෝද රථ රියදුරු ද බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම, කිම්මන්තුඩාව පදිංචිව සිටි, කිම්මන්තුඩාව ශ්‍රී සුමනජෝති කණිෂ්ඨ විද්‍යාලයේ සිවුවන වසරේ ඉගෙනුම ලැබූ හිරුන් අංජන නම් සිසුවෙකි.

යතුරුපැදිය කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණෙමින් සිටියදී එක්වරම යතුරුපැදිය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදීගොස් විරුද්ධ දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බවත් අනතුරින් පසු යතුරුපැදියේ ගමන්ගත් තිදෙනා ඇදවැටී ඇති බවත් පොලිසිය පැවසීය.

වෛද්‍ය වාර්තා වලට අනුව යතුරුපැදිය පැද වූ පියා මත්පැන් පානය කර යතුරුපැදිය පදවා ඇතැයි බණ්ඩාරගම පොලිසිය සඳහන් කළේය.