පොලිස් අණ නොතකා පලා ගිය වෑන් රිය කුඹුරට පෙරැළෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් අණ නොතකා පලා යමින් සිටි වෑන් රථය කිලෝ මීටර් 12 ක් පසු පස තබාගොස් මීගහතැන්න ප්‍රදේශයේ දී කුඹුරකට පෙරැළීමත් සමඟ එහි රියදුරු අද (7) අත්අඩංගුවට ගත් බව කිනියාවල පොලිසිය පවසයි.

පෙරලුණු වෑන් රථය තුළ තදට ගැට ගසා සිටි ගවයින් සිව් දෙනෙකු සිටි බව පොලිසිය කියයි.

කිනියාවල පොලිසිය මාර්ග බාධක යොදා සැකකටයුතු වාහන පරීක්ෂා කිරිමේ යෙදී සිටියදී පැලවත්ත පිටිගල මාර්ගය ඔස්සේ පැමිණෙමින් තිබූ වෑන් රථය නැවතීම සඳහා පොලිස් නිලධාරින් සංඥා කර තිබේ. නමුත් එම සංඥා නොතකා වාහනය ඉදිරියට ධාවනය කිරීමත් සමඟ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් කැබ් රථයකින් වෑන් රථය පසුපස හඹා ගොස් ඇත.

එහිදී වෑන් රථය තුළ සිටි එක් පුද්ගලයකු වීදුරුව තුළින් පිටතට පැන පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිනියාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.