පැතුම් දර්ශන
හොරොව්පොතාන අලපත්වැව ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක තිබූ ළිඳකට වැටීමෙන් අලි පැටවුන් දෙදෙනකු මියගොස් තිබේ.
සතියකට පමණ ඉහතදී මෙම ළිඳට වැටී ඇති බව කියන අලි පැටවුන් දෙදෙනා ගොඩ ඒමට නොහැකිව මියගොස් සිරුරු නරක් වී හමාගිය දුර්ගන්ධය හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන පොලිසියට සහ වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබේ.
මෙම පුරාවිද්‍යා භූමිය ආසන්නයේ පිහිටා ඇති වැවකට ජලය බීමට පැමිණ ඇති අලි රංචුවක සිට ඇති මෙම අලි පැටවුන් දෙදෙනා සෙල්ලම් කිරීමට ගොස් මෙම ළිඳට වැටී ඇති බවට වනජීවී නිලධාරීන් සැක කරනු ලබයි.
අඩි හයක් පමණ විශ්කම්භයකින් යුත් අඩි හයක් පමණ ගැඹුරු මෙම ළිඳට වැටීමෙන් මියගොස් ඇත්තේ අවුරුදු එකත් එකහමාරත් පමණ වයසැති පැටවුන් දෙදෙනෙකුය.
අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය කාර්යාලයෙ පශු වෛද්‍යවරයා ඇතුළු නිලධාරීන් විසින් හෙට(01) මිය ගිය අලි පැටවුන් දෙදෙනාගෙ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.