ජුඩ් සමන්ත සහ එච් චන්දන
පුත්තලම ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී එහි ලේකම්වරයා විසින් සභිකයකුට ජල බෝතල් ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සිද්ධියට මුහුණ දුන් සභිකයා විසින් මුන්දලම පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.
ජල බෝතල් ප්‍රහාරයට ලක්ව ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන නිමල් බමුණුආරච්චි මහතාය.
පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සදරුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ඊයේ (28) රැස්විය. ඒ මදුරන්කුලියේ පිහිටි පුත්තලම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේ දීය.
පුත්තලම ප්‍රාදේශීය සභාවට අයත් ට්‍රැක්ටරයක් ඇතුළු යන්ත්‍ර අළුත්වැඩියා කිරීම සඳහා පසුගිය කොමසාරිස් පාලන සමයේ විශාල මුදලක් වැයකර ඇති බව උප සභාපති ජයම්පතී බන්දුරාජා මහතා සභාවේ දී කියා සිටියේය.
මෙම වැය කිරීම සිදුවී ඇත්තේ පසුගිය කොමසාරිස් පාලන සමයේදී බවත්, ඒ සම්බන්ධයෙන් ලේකම්වරයා කරුණු දැක්විය යුතු බැවින් සභාව කාරක සභා අවස්ථාවක් ලෙස සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
පුත්තලම ප්‍රාදේශීය සභාව විසින් ඉදිකර ඇති මදුරන්කුලිය වෙළඳ සංකීර්ණයේ කඩ කාමර බදු දීමේදී අක්‍රමිකතාවයක් සිදුවී ඇති බව සභික (හිටපු සභාපති) නිමල් බමුණුආරච්චි මහතා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන ලදී.
එම අවස්ථාවේදී සභා ලේකම් සෝමසිරි ජයසිංහ මහතා සහ සභිකයින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. අවසානයේදී තම මේසය මත තිබූ ජල බෝතලයෙන් සභාවේ ලේකම්වරයා විසින් නිමල් බමුණුආරච්චි සභිකයා වෙත ප්‍රහාරයක් එල්ල කරන ලදී.
ඒ සමගම සභාව උණුසුම් වී ගියේය. ලේකම්වරයාට තව දුරටත් එම තනතුර දැරීමට නොහැකි බවත්,සභාවේ වැඩබලන ලේකම්වරයා ලෙස ප්‍රධාන ලිපිකරු පත් කළ යුතු බවත් උප සභාපති ජයම්පතී බන්දුරාජා මහතා විසින් යෝජනාවක් ගෙන එන ලදි.
එම යෝජනාව සභාක සුනිල් පෝරුතොට මහතා විසින් ස්ථීර කරන ලද අතර ඊට සියළුම සභිකයින්ගේ සහාය හිමි විය.
ජල බෝතල් ප්‍රහාරයට ලක්වූ ප්‍රාදේශීය සභා සභික නිමල් බමුණුආරච්චි මහතා විසින් මේ සම්බන්ධයෙන් මුන්දලම පොලීසියට පැමිණිළි කර ඇත.
සභාවේ ලේකම්වරයා සම්බන්ධයෙන් වයඹ පළාත් පාලන කොමසාරිස්වරයා වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන බව සෙසු සභිකයින් කියා සිටියේය.