පිරිසකගේ පහරදීමකින් එක්දරු පියා මරුට


 (චන්ද්‍රසේන ගමගේ)

තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙනිය තේනගම ප්‍රදේශයේ නිවසකට පැමිණ ඇති පිරිසක් සහෝදරයන් දෙදෙනෙකුට පහරදී වැඩිමහල් සොහොයුරා ඝාතනය කොට බාල සොහොයුරාට බරපතල තුවාල සිදු කොට ඇතැයි තංගල්ල පොලීසිය පවසයි.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ වැඩිමහල් සොහොයුරා පහරකෑමට ලක්වූ ස්ථානයේදීම මිය ගොස් තිබූ බව පොලීසිය කියයි.

ප්‍රහාරයෙන්  මිය ගොස් තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කසාගල පිවිසුමේ පොලිස් රථවාහන අංශයේ  සේවයකරනු ලැබූ විදාන ගමගේ චතුරංග දිල්ෂාන් නම් 34 වැනි වියේ පසු වූ එක්දරු පියෙකි.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ඇත්තේ  26 වැනි වියේ පසුවන මිය ගිය අයගේ සහෝදරයා බව පොලීසිය කියයි. ඔහු මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටින බව පොලීසිය කියයි.

මියගිය චතුරංග දිල්ෂාන් සේවයට වාර්තා කිරීම සදහා නිවසින් පිටව යාමට සුළු මොහොතට පෙර ඊයේ (18) රාත්‍රියේදී දස දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් පොලු මුගුරු රැගෙන නිවස ඉදිරිපිට ට පැමිණ කළහකාරි ලෙස හැසිරි ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

ඉන් අනතුරුව නිවස තුළ සිටි සොහොයුරන් දෙදෙනා පිටතට පැමිණ ඇති බවත් ඉන් අනතුරව සොහොයුරන් දෙදෙනාට පහරදී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ සොහොයුරන් දෙදෙනා බිම දිගේ ඇදගෙන ගොස් සිද්ධියට සම්බන්ධ සැකකරු අළුතින් ඉදිකරමින් පවතින නිවසට රැගෙන ගොස් පහරදී ඇති බවට ද පොලීසියට ‍තොරතුරු ලැබී තිබුණි.