(රංජිත් රාජපක්ෂ)
තලවකැලේ ලිඳුල නගරසභා බල ප්‍රදේශයට අයත් තලවකැලේ රත්නිල්ල කැලේ ගම්මානයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදි කළ නිවාස යෝජනා ක්‍රමයට පානිය ජලය ඉල්ලා ගම්වාසීහු අද (27) දහවල් තලවාකැලේ ජල සම්පාදන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
එම ගම්මානයට යාබදව පිහිටි ජල සම්පාදන මණ්ඩල කාර්යාලයට පිවිසෙන මාර්ගය ගල් අතුරා අවහිර කරමින් එම මාර්ගය ඉදිරිපිට මෙලෙස උද්ඝෝෂණය පැවැත්විණි.
තලවකැලේ ජල සම්පාදන මණ්ඩලයෙන් හැටන් ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට ජලය රැගෙන යන බවුසර් 2ක්ද අවහිර කරමින් රත්නිල්ල කැලේ ගම්වාසීහු උද්ඝෝෂණය කළහ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකර තමන් වෙත ලබාදුන් නිවාස යෝජනා ක්‍රමය නිවාස 54 කින් සමන්විත බවත්, ඉන් නිවාස 15 ක ජනතාව පදිංචි වි සිටින බවත්, එම නිවාස වලට පානිය ජල සම්බන්ධතාවය ලබා දීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු නොකරන බව ප්‍රදේශවාසීහු පවසති.
රත්නිල්ල කැලේ ගම්මානයට මෙතෙක් පානිය ජල ලබා නොදීම සම්බන්ධයෙන් අප තලවකැලේ ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවහන මණ්ඩලයේ කාර්යාලයේ නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ එම ගම්මානයට පානිය ජලය ලබා දිමට අවශ්‍ය ප්‍රතිපාදන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙතෙක් ලබා නොදීම නිසා එම ගම්මානයට පානිය ජල සම්බන්ධතාවය මෙතෙක් ලබා නොදී ඇති බවයි.


