කේ බුද්ධික කුමාරසිරි
පාදුක්ක මීපේ ප‍්‍රදේශයේ සතොස ශාඛාවක පරීක්ෂණ කටයුතු සඳහා පැමිණි සතොස කලාප කළමනාකාරවරයකු එහි මුදල් ලාච්චුවෙන් රුපියල් දහසක් සොරකම් කරන ලදැයි ලද පැමිණිල්ලක් මත එම කලාප කළමනාකාරවරයා සැකපිට අද (11) අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
මීපේ සතොස ශාඛාවට පැමිණ මුදල් අයකැමිවරයාගේ මුදල් යන්ත‍්‍රය පරීක්ෂා කරන අතරතුර මෙලෙස රුපියල් දහසක් සොරකම් කරන ආකාරය වෙළඳසල් සේවකයකු දැක ඇති බවත් ඒ අනුව එම ශාඛාවේ කළමණාකරු විසින් පාදුක්ක පොලිසියට අදාළ පැමිණිල්ල සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.
මෙම සැකකාර කලාප කළමනාකාරවරයා පැමිණ පරීක්ෂණ කටයුතු සිදුකළ ඉකුත් තුන් වැනි දා තම ශාඛාවේ රුපියල් 12000/- ක් අස්ථාන ගත වී තිබූ බැවින් මෙවර පැමිණි අවස්ථාවේදී සේවකයින් විමසිල්ලෙන් සිටි බවත් ඒ අනුව මෙම සොරකම අල්ලා ගැනීමට හැකි වූ බවද මීපේ සතොස ශාඛා කළමනාකාරවරයා පාදුක්ක පොලිසියට සිදු කළ පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සතොස කළාප කළමනාකාරවරයකු ලෙස කටයුතු කළ 41 හැවිරිදි පුද්ගලයකු වන සැකකරු හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.