පඩි පෙලින් වැටී තුවාල ලැබූ පාසල් සිසුවා මියයයි


(ඩි.ජී.සුගතපාල)

පාසලේ පඩි පෙලින් වැටි තුවාල ලබා මාස 2කට ආසන්න කාලයක් කරාපිටිය රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 6 හැවිරිදි පාසල් සිසුවෙකු අද (04) මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ රත්ගම කිරිමැටිය පදිංචි රත්ගම අර්නස්ට් විදුහලේ පළමුවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කෝදාගොඩ ගමගේ අශේන් ශවින්ද්‍ර නමැති 6 හැවිරිදි සිසුවෙකි.

මේ පිළිබඳ මරණ පරීක්ෂණය පැවැත්වූ කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක බි.ජී.එන්. කරුණාතිලක මහතා විදුහල්පතිවරයාගේ සහ පන්ති බාර ගුරුවරියගේ සාක්කි ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර මරණ පරීක්ෂණයේ නිගමනය ප්‍රකාශ කිරීම පසුවට කල්තබා මෘතදේහය ඥාතින්ට බාරදීමට නියෝග කළේය.