නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් 8 දෙනා රිමාන්ඩ්


(ඩී. කේ. රත්න)

ඌවපරණගම අඹගස්දෝව ඉහළ බුස්දුල්ල ප‍්‍රදේශයේදී නිධන් හාරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අටදෙනා ජනවාරි 7 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැලිමඩ මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය අද(31) නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ, ගම්පොළ, මහනුවර, දොළොස්භාගේ‍, කැප්පෙටිපොළ, බියගම, පන්නල, පැලවත්ත යන ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 28 ත් 43ත් අතර පසුවන පුද්ගලයින් අටදෙනෙකි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නුවරඑළිය කඳවුරේ නිලධාරීන් ලද තොරතුරක් මත මෙම වැටලීම කර තිබිණි.

මෙම පිරිස නිධන් වස්තු සෙවීම සඳහා නිවසක් අසළ පැලක් සාදා ඒ තුළ සිට අඩි තිස් පහක උමගක් කැණ මාස 6ක්  තිස්සේ නිධන් හාරා ඇතැයි පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අඹගස්දෝව පොලිසියට බාරදීමෙන් පසු පොලිසිය ඔවුන් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහිදී ඔවුන් බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.