(ජේ.කේ.එල් චාමින්ද)
මඩකළපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදී ඝාතනයට ලක්වු ඩබ්ලිව් ජි නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නැමති පොලිස් කොස්තාපල්වරයාගේ මරණය සම්බන්ධව අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වා සාධාරණත්වය ඉෂ්ඨ කරදෙන ලෙස පවුලේ ඥාතිහූ වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලීමක් කරති.
ඝාතනයට ලක්වු පොලිස් කොස්තාපල්වරු දෙදෙනාගෙන් අයෙකු වන නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නැමති පොලිස් කොස්තාපල්වරයා බැද්දේගෙදර හන්දිය, බංගමුව පාර ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචිකරවෙකි.
මියගිය කොස්තාපල්වරයාගේ තොරතුරු සොයා අද (30) පස්වරුවේ ඔහුගේ නිවසට අප ගිය අවස්ථාවේ පවුලේ ඥාතීහු මේ බව ප්‍රකාශ කළහ.
මෙකී ඝාතනය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වා ඝාතනය ගැන අනාවරණය කළයුතු බවද පවුලේ ඥාතීන් රජයෙන් ඉල්ලා සිටිති. ඝාතනයට ලක්වු නිරෝෂන් ඉන්දික ප්‍රසන්න (35) එක් දරුපියෙකි.
ඔහුගේ බිරිඳ නදීකා ලක්මාලි තිස්තුන් හැවිරිදි වියේ පසුවන්නීය. මෙකී යුවළගේ එකම පුතු තෙනුජගේ වයස අවුරුදු හතර හමාරකි. පුංචි පුතු පෙර පාසල් වියේ පසුවෙයි.
ඝාතනයට ලක්වු පොලිස් කොස්තාපල්වරයාගේ බාල සහෝදරයා වන මදුර සම්පත් (28) අප සමඟ මෙසේ කීවේය.
අයියා ඉගෙන ගත්තේ උඩුගම මහා විද්‍යාලයෙන්. අයියා තමයි පවුලේ වැඩිමලා. අපේ පවුලේ සහෝදර සහෝදරයින් හතර දෙනෙකු ඉන්නවා. අයියා 2009 වර්ෂයේ දි තමයි පොලිසියට බැදුණේ. අයියා කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ සේවය කළා. දැනට වසර එකක් හා මාස 11ක සිට මඩකළපුව වව්නතිව් පොලිසියේ රාජකාරි කරනවා. දුෂ්කර සේවා කාලය අවසන්ව ඇති නිසා ලබන අවුරුද්දේ ජනවාරිවල ස්ථාන මාරුවක් ලැබ මේ අවට පොලිසියකට එන්න හිටියේ. නිවාඩුවට ඇවිත් ගෙදර ඉදලා දින හතරකට කලින් තමයි යළි රැකියාවට ගියේ. අයියාට කරදරයක් වී ඇති ආරංචිය මගේ මිතුරකුගෙන් තමයි දැන ගත්තේ. පොලිසියෙන් ද පැමිණ මේ ගැන කීවා. අයියා මරණය ගැන ඇත්ත තත්වය අපි දැන ගන්න ඕනෑ. මේ ගැන වහාම පරික්ෂණයක් පවත්වා සාධාරණත්වය ඉෂ්ඨකරදෙන ලෙස ඉල්ලා සිටිනවා ඔහු ඉතා හැඟුම්බරව කීවේය.
නිරෝෂන් ඉන්දිකගේ හදිසි වියෝවයෙන් උඩුගම බැද්දෙගෙදර ප්‍රදේශය ශෝකයෙන් ඇළලී ගොස් ඇත්තේය. නිරෝෂන්ගේ මව ඉකිබිදිමින් හඩන්නීය. නිරෝෂන්ගේ එකම පුතු ඇයි ආත්තේ හඩන්නේ මේ පුංචි පුතු අසන්නේය. නිරෝෂන්ගේ මව වන එම් ටි රංජනිට තම පුතුගේ හදිසි වියෝවය දරාගත නොහැකිය. ඇය කදුළු සලමින් මෙසේ කීවාය.
පුතා ඊයේ උදේ මාත් එක්ක දුරකථනයෙන් කථා කළා. මම කීවා මට සනීප නැහැ කියලා. අම්මා බෙහෙත් අරගෙන මල්ලිත් එක්ක පුතාලාගේ ගෙදර එන්න කියලා මට කීවා. එදින රාත්‍රී තාත්තාට කථා කරලත් අහලා තියෙනවා අම්මා බෙහෙත් ගෙනාවාද කියලා. අනේ මගේ පුතාට මොකක්ද මේ වුණේ ඇය හඩා වැළපෙන්නීය.
නිරෝෂන් ඉන්දිකගේ පියා ඩබ්ලිව් ජි උපසේන (55) ය. ඔහුට ද තම පුතුගේ වියෝවය දරාගත නොහැකිය.
ඊයේ රාත්‍රී මට පුතා දුරකථනයෙන් කථා කළා. මම ඒ වේලාවේ කඩයේ හිටියේ. අම්මා බෙහෙත් ගෙනාවාදා කියලා ඇසුවා. බෙහෙත් ගෙනාවා කඩයේ සෙනග ඉන්න නිසා පස්සේ කථා කරන්නම් කියා මා කීවා යැයි පියා කීවේය.