(එස් .ඩි.කොඩිකාර )
කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් සඳහා අදාල ඖෂධ නිවෙස් වලටම ගොස් ලබා දීමේ වැඩ පිළිවෙලක් උප තැපැල් කාර්යාල වල සහයෝගය ඇතිව දෙනියාය ප්‍රධාන තැපැල් කාර්යාලය සිදු කර ගෙන යන බව දෙනියාය ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති පී.සමරසිංහ මහතා පැවසීය.
විශේෂයෙන්ම මෙය සිදු කරනු ලබන්නේ අදාල ප්‍රදේශයේ ලිපි බෙදන තැපැල්කරු විසින් බවත් ඔහුට අදාල රෝගියාගේ නම,ලිපිනය, දුරකථන අංකය ලබා දීමෙන් පසු අදාල ඖෂධ නිවසටම ගෙනවිත් දෙන බව ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය .
මේ සම්බන්ධයෙන් දෙනියාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී සෝමරත්න කෝනාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සදහන් කළේ මෙවැන්නකි.
'සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් කවුද කියලා අපි හඳුනාගෙන සිටිනවා. අපි එම රෝගීන්ගේ රෝග වාර්තාව ඇතුලත් පොත් දෙකක් සකසා තිබෙන අතර ඉන් එකක් රෝගියාට ද අනෙක් පොත අදාල සායනයේ තබා ගන්නවා. එම පොත්වල රෝගීන් ගේ නම, දුරකථන අංකය ,ලිපිනය සඳහන් කර තිබෙනවා . ඉතිං එම රෝගියා අවසන් මාසයේ පැමිණ ලබාගත් ඖෂධ පැකට් කර අපි තැපැල් කාර්යාලයට භාර දුන් පසු එම ඖෂධ රෝගියාගේ නිවසට ගොස් භාර දීමට කටයුතු සලස්වනවා' යැයි ඒ මහතා පැවසීය.