දුම්රිය මැදිරි ජීවානුහරණය කරයි


(රේඛා තරංගනී ෆොන්සේකා)

දෙමටගොඩ , මරදාන , මාලිගාවත්ත ධාවනාගාරයන් තුළට  පැමිණෙන සෑම දුම්රියක්ම ජීවානුහරණය කිරීම අද (18) සිට ආරම්භ කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

කොරෝනා වයිරසයෙන් මගී ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින්  සෑම දුම්රියක්ම ජීවානුහරණය කිරීම ආරම්භ කළ බව ඔහු පැවසීය.

දෙනුවර මැණිකේ,පොඩි මැණිකේ ,රුහුණු කුමාරි,සමුද්‍ර දේවි ඇතුළු දුර ගමන්සේවා මෙන්ම සෑම කාර්යාල දුම්රියක්ම ජීවානුහරණය ලක්කරන බව ඔහු පැවසීය.

දුම්රිය මැදිරි සියයකට වැඩි ගණනක් මෙසේ ජීවානුහරණය ලක් කරන බව සඳහන් කළ ඒ මහතා මේ සඳහා වෙනමම සේවක මණ්ඩලයක් යොදවා ඇති බවද පැවසීය.

සෑම දුම්රිය නැවතුම්පොළක්ම ජීවානුහරණය කිරීමේ සැලැස්මක් දැනට නැති බවත් කොළඹ කොටුව සහ මරදාන යන ප්‍රධාන දුම්රිය ස්ථාන දෙක ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් ජීවානුහරණය කරන බවත් ඔහු පැවසීය.

මගී ජනතාවට අත් සේදීමට දුම්රිය ස්ථාන කිහිපයකම ස්ථාන වෙන් කර ඇති බවත් ඩිලන්ත ප්‍රනාන්දු පැවසීය.