(උපුල් තම්මිට)
පුත්තලම එලුවන්කුලම ප්‍රදේශයෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඇතුළු වන දඩයක්කරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වනසතුන්ගේ ජීවිත තර්ජනයට ලක්ව ඇතැයි එලුවන්කුලම වනජීවී කාර්යාලය පවසයි.
වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු පවසා සිටියේ කල්පිටියේ සිට බෝට්ටු මගින් පැමිනෙන පිරිස් හොර රහසේම මොල්ලිකුලම හා පලුගහතුරේ ප්‍රදේශවලින් වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළුවන බවය.
පරණ එලුවන්කුලම ගම්මානයේ සංවිධානය වූ පිරිසක්ද මෙම නීති විරෝධී දඩයමේ නිරතවන බවත් අවස්ථා කිහිපයකදී වනෝද්‍යානය තුළදී ගිනි අවි සහ පතුරම් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු රුපියල් 375,000 දක්වා දඩ නියමකිරීමෙන් පසු විල්පත්තුව තුළ නීතිවිරෝධී දඩයම් කිරීම යම් ප්‍රමාණයකට අඩුවී ඇති බවත් හෙතෙම සඳහන් කර සිටියේය.
නීති විරෝධී දඩයක්කරුවන්ගෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආරක්ෂා කරගැනීමට වහාම කටයුතු කළ යුතුව ඇතැයි විල්පත්තුව නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ ද පවසති.
මේ පිළිබව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා පවසා සිටියේ සංවිධානාත්මක පිරිසක් මෙම කටයුතුවල නිරත වියහැකි බවත් පරණ එළුවන්කුලම ගම්මානයේ ජනතාව බහුතරයක් ගොවිතැනින් ජීවත්වන අඩු ආදායම්ලාභීන් බවත් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම තුළින් මෙවැනි ක්‍රියා වැළැක්විය හැකි බවත්ය. එම ගම්වාසීන් නියං සහිත කාලගුනය පවතින අවස්ථාවලදී දුෂ්කරතා රැසකට මුහුණදෙන බව කී ප්‍රාදේශීය ලේකම්වරයා, ඔවුන්ට රැකියා අවස්ථා උත්පාදනය කර ස්ථිර ආදායම් මාර්ග සඳහා මගපෙන්වීම අත්‍යවශ්‍ය වී ඇතැයිද සඳහන් කර සිටියේය.
වනජීවී පරිසර ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඒ මහතා පවසාසිටියේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සැලසුම් සකස්කළ බවය.
ඒ සඳහා අවශ්‍ය සේවක සංඛ්‍යාව ඉහළ දැමීමට කටයුතු කර තිබුණද මැතිවරණ නීතී රීතිවලට අවනත වීම හේතුවෙන් එම කටයුතු තාවකාලිකව අඩපණ වී ඇති බවද, මැතිණයෙන් පසුව විශ්‍රාමික වනජීවී නිලධාරීන් ඇතුලු නව සේවකයන් බඳවාගෙන විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වනසතුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවද අමාත්‍යවරයා පැවසීය.