තිරප්පන්කඩවල සහ හබගම යළි විවෘත කරයි


පැතුම් දර්ශන

හොරොවිපොතාන, තිරප්පන්කඩවල ප්‍රදේශයෙන් හමුවූ කොරොනා ආසාදිත නාවික සෙබලාගේ සමීපතයින් හත් දෙනාට සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණවලින් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වීමත් සමඟ සතියකට වැඩි කාලයක් හුදෙකලා කර තිබූ තිරප්පන්කඩවල සහ හබගම යන ප්‍රදේශ යළි විවෘත කිරීමට සෞඛ්‍ය අංශ විසින් අද(04) කටයුතු කළහ.

කොරොනා ආසාදිත නාවික සෙබලා හමුවිමත් සමග තිරප්පන්කඩවල සහ හබගම යන ප්‍රදෙශය වල පුද්ගලයන් නවසිය තිස් හතක් (937) හුදකලා කරනු ලැබුවෙ ඉකුත් 26වනදාය. 

ඒ අනුව වසාදමා තිබූ හොරොව්පොතානඅලුත් ඔය මාර්ගයද  අද(04)සිට විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.

වෛරසය ආසාදිත නාවික සෙබලාගෙ බිරිඳ ,දරුවා, සොහොයුරිය, මව ඇතුළු පවුලේ හත්දෙනකු යුධ හමුදා විසින් වව්නියාව පම්පෙ මඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගොස් තිබුණේ  සතියකට පමණ ඉහතදීය.

එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී ඔවුනට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කරගෙන තිබේ.

මේ අතර එම නාවික සෙබළා නිවාඩු ලබා පැමිණ සිටි අවස්ථාවේ දී සමීප සබඳතා පැවැත්වූ තිරප්පන්කඩවල ගම්මානයේ තිදෙනෙකුද අනුරාධපුර ශික්ෂණ රෝහලේදී පී.සී.ආර්. පරීක්ෂණය සඳහා යොමුකළ අතර ඔවුනටද වෛරසය ආසාදනය වී නොමැති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබේ.